බොලීවියාවේ සැන්මා කර්ස් නගරයේ සිට ට්‍රිනිඩෑඩ් බලා යමින් තිබියදී ඉකුත් අඟහරුවාදා ඝන වනයට කඩාවැටුණු කුඩා ගුවන් යානයේ ගමන් ගත් 9 දෙනාගෙන් දිවි ගැලවුණු එකම පුද්ගලයා වන 35 හැවිරිදි මයිනර් විඩාල්, ගැලවුම්කරුවන් ඔහු බේරාගන්නා තුරුම දිවි රැකගෙන තිබුණේ කෘමීන් ආහාරයට ගැනීමෙන් හා තමන්ගේම මුත්‍රා පානය කිරීමෙන් බව ප්‍රකාශ කර තිබේ. එපමණක් නොව ගැලවුම්කරුවන්ට ඔහු සොයා ගැන්මට පහසු වනු පිණිස ගමන් ගත් දිශාව බිමෙහි ඊතලයක් මගින් සලකුණු කර ඇත්තේ තමාගේම රුධිරයෙනි.
”ලා - රාසෝන්” නම් බොලීවියානු පුවත්පතට ඔහු දුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ බව කියා ඇති අතර ගුවන් අනතුරින් පසු පැය 62 ක කාලයක් තමා දිවි රැකගත්තේ බාලදක්‍ෂයකු ලෙස ලබා තිබුණු පුහුණුව හා කඳවුරු බැඳීමට හා මසුන් ඇල්ලීමට තිබූ දැඩි කැමැත්ත මත ලත් අත්දැකීම් අනුව බව කියා තිබේ. ඒ අනුව මඩදිය කඩිතිවල ජලය සිය කමිසයෙන් පෙරා බීමටත්, වගුරුබිමේ එළිමහන් තැනක් සොයා යාමටත් ඔහු පෙළඹී තිබිණ. බීමට ජලය සොයාගත නුහුනු තැන්වලදී ස්වකීය මුත්‍ර පානය කළ බව ද ඔහු කියා ඇත.
අනතුර සිදුවන විට ඔහු වාඩිවී සිට ඇත්තේ යානයේ පිටුපස කොටසේය. අනතුරින් පසු ඔහු සුන්බුන් අතර හිරවී සිටියේ බරපතළ තුවාල සහිතවය. ඔහුගේ හිසත්, ඉල ඇටත් හානි වී තිබුණද ඔහුට හොඳ සිහිය තිබිණ. යානය කඩාවැටුණේ රාත්‍රියේය. කඩාවැටීමෙන් පසු ගින්නක් හටගෙන තිබුණු අතර, යානා ඉන්ධන සුවඳ දැනෙන්ට වී තිබේ. “මුලදී කිසිවක් පෙනුණේ නැහැ. ඒත් කෑගැසීම් ඇසුණා. ඉන්පසු එකවරම සියල්ල නිහඬ වුණා. ඒ මොහොත හරිම බියකරුයි” ඔහු කීවේය. යානයේ සිටි සෙසු අටදෙනාම මියගොස් තිබිණ. “මයිනර් විඩාල්” සුන්බුන් අතරින් එළියට බඩගා ගත්තේය. ඈතට ඇවිද යන ඔහු තමන් ගමන් ගත් දිශාව දැක්වූයේ සිය රුධිරයෙන් ඊතල ලකුණු යෙදීමෙනි. තැනකදී ඔහු සිය කමිසය මඟ දමා ගියේ ද සලකුණක් වශයෙනි. ඉකුත් සිකුරාදා ගං ඉවුරක රැඳී සිටියදී නාවික මුර සේවා යාත්‍රාවකට ඔහු හමු වී තිබිණ.
0 comments:
Post a Comment